Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


මොන දේටත් පෙර ජනතාව ජීවත් කළ යුතුයි - විපක්ෂ නායක


2026-04-04 1297

 

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වැඩිවෙලා.. දැන්වත් සහන පැකේජයක් හඳුන්වා දෙන්න

 

- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි -

 

දිනෙන් දිනම රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍රවන නිසා මේවාට විසදුම් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේ වන තෙක් රටේ ජනතාවට විශේෂ සහන පැකේජයක් ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ලෝකයේ බොහෝ රටවල් ඉන්ධනවලට ගහන බදු අඩු කර පාරිභෝගිකයාට සහන ලබා දී ඇති බවත් වැඩ කරන ජනතාවට ජීවන බර අසහනය කම්පනය පීඩනය අවම කිරීමට විවිධ බදු සහන ලබා දී ඇති මුත් අප රටේ නම් තෙල් මිල විදුලි බිල බදු බර වැඩි කර ජනතාවට පැටවිය හැකි උපරිම බර පටවා මහා භාණ්ඩාගාරය පිරී ඉතිරී යන්න මුදල් ඇති බවට පුරසාරම් කියමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  අද තිස්සමහාරාම ආසනයේ ඇති පන්නෙගමුව මහා වාපිය රජමහා විහාරය,  ඓතිහාසික රාජපූජිත තිස්සමහාරාම සන්දගිරි උභය රජමහා විහාරය, කොහොඹගහ පැලැස්ස රජමහා විහාරය සහ ඓතිහාසික කිරින්ද විහාරමහාදේවී රජමහා විහාරයේ සිදු කළ සංචාරයක් අතරතුර මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මහා භාණ්ඩාගාරයේ ඇති ට්‍රිලියන ගණන් මුදල් උපයෝගී කර ගෙන අසහනයෙන් පීඩනයෙන් සිටින ජනතාවට සහන දිය නොහැක්කේ ඇයි ද කියා රජයෙන් ප්‍රශ්න කරන බවත් රජය වටා ඇති කුප්‍රකට ගජමිතුරු ධනවාදීන්ට නම් උපරිම සහන ලැබී කොන්ත්‍රාත් පවා ලැබෙන බවත් මොවුන්ට බදු සහන ආදිය දුන්නත් සාමාන්‍ය වැඩ කරන ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් දැන්වත් රටේ ජනතාවට සහන මල්ලක් පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ජනතාවගේ ජන ජිවිතය ශක්තිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ලෙසත් බදු බර අඩු කර තෙල්මිල අඩු කරනවා සේම ගල් අගුරු වංචාවේ අලාභය විදුලි පාරිභෝගිකයන් කරපිට පටවන්නේ නැතිව අදාළ සමාගමෙන් අය කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ බාල ගල් අගුරු වංචාවට එක්වූ සියලු දෙනා නීතිය හමුවට ගෙන එනවා සේම මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පැහැදිලි කිරිමක් කළ යුතු බවත් අඛණ්ඩව විදුලිය සැපයීම ඔහුගේ වගකීම වුවත් ඔහු විසින් බාල ගල් අගුරු අඛණ්ඩව රටට ගෙනවිත් ඇති බවත් දැන්වත් මේ බාල ගල් අගුරු ගෙන්වීම නවත්වා විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය සුරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Advertiesment